Monday, September 30, 2013

ඉංග්‍රිසි බැරි නිසා සැගවෙන අයින්ස්ටයිලා

 
 

(එන්නතකට බයේ සැගවෙන දරුවා, ඉංග්‍රිසීයට බය අයත් මුලුගැන්වෙන්නේ මේවගේ යැයි මට සිතුනා )

මම පහුගිය සතියේ චීනයේ බෙයිජින් නුවර උත්පේරක පිලිබද ජාත්‍යන්තර සමුලුවකට සහභාගී උනේ එවැනි සමුලුවක කරන මගේ කුලුදුල් දේශණය පවත්වන්න. ඒකට ඇමරිකාව, බටහිර යුරෝපය ප්‍රමුඛ රටවල් වලින් මෙන්ම සත්කාරක රට වන චීනයෙනුත් විශාල පිරිසක් සහභාගී උනා.  මම මෙහිදී දුටු දෙයක් නම් චීන්නුන්ගේ පර්යේෂනවල තිබෙන දැවැන්ත ඉදිරිගාමී බව හා ඔවුන්ගේ සන්නිවේදන හැකියාවේ (ඉංග්‍රීසියෙන්) දැවැන්ත පසුබෑම. කොටින්ම චීන්නු දේශන පවත්වන විට බටහිරයන්, සමගාමීව පැවැත්වෙන වෙනත් දේශණයන් සොයා කාමරයෙන් පිටව යනු මම මේ දින දෙකේ සම්මන්ත්‍රනයේදී දුටුවා.   ඔවුගේ පර්යේශන කටයුතු දිහා බලන විට  ඒවා සමහර යුරෝපීයයන්ගේ ඒවාටත් වඩා ඉදිරියෙන් ඇති බව මට වැටහීගියා. නමුත් ඔවුන්ගේ උච්චාරනය බොහෝ බටහිරයන්ට ගැටලුවක් උනා. ඒවගේම ඔවුන්ගෙන් බටහිරයන් ප්‍රශ්ණ (සරල ප්‍රශ්ණ පවා ) ඇසූවිය, ඔවුන්ට එය ග්‍රහණය කරගත නොහැකි උනා.

මෙය දුටුවිට මට මතක් උනේ අපේ රටේ තිබෙන ඉංග්‍රීසි ප්‍රශ්ණය. චීනාට තියෙන්නේ ඇත්තටම ඉංග්‍රීසි බැරි ප්‍රශ්නේ, අපේ තියෙන්නේ ටිකක් වෙනස් ප්‍රශ්ණයක්. අපේ උච්චාරණය හා ශ්‍රවණය ඉතා ඉහල මට්ටමක තියෙනවා, නමුත් ලංකාවේ ඉංග්‍රීසිය යනු පන්ති බේදය පවත්වාගන්නා උපකරණයක් නිසා බොහෝ දෙනා වැරදීමට හෝ ලජ්ජාවට පත්වීමට බිය නිසා පසුබැස ඉන්නවා. ඔවුනට අනෙකාට අවබෝධ වීමට කතාකිරීමේ හැකියාව ඇතත් හීනමානය හෝ බිය නිසා ඉංග්‍රීසි කතා නොකර සිටිනවා. දක්ෂතා ඇතත් භාෂා පිලිබද මේ ප්‍රශ්ණය නිසා බොහෝ දෙනා පසු බැස ඉන්නවා.

මේක පර්යේෂන ක්ෂේත්‍රයේ  පමණක් නොව සමාගම්වල , දේශපාලනයේ, ව්‍යාපාරවල ... හැමතැනකම තියන ප්‍රශ්ණයක්. භාෂා ප්‍රශ්ණය නිසා සැගවෙන සැබැ දක්ෂයන් මතු කරගන්න හැකිනම් අපට වඩා ලස්සන ලෝකයකට යන්න හැකිවේවි.