Monday, December 9, 2013

නැගී එන වෙබ් අඩවි මත පිහිටවු මෘදුකාංග හා ආසියාවේ ඉරණම



යුරෝපියානුවන් හා ඇමරිකානුවන් අධ්‍යාපනික හා ව්‍යාපාර සදහා වූ මෘදුකාංග මිලදී ගන්නට වරක් දෙවරක් සිතමින් ලතවෙමින් ඉන්නා කාලේ අපි ඒවා හොරාට බාගෙන රසවින්දෙමු, ඒ වාගේ කෙල පැමිණියෙමු. සංකීර්ණ මෘදුකාංග වල පරිස්සමෙන් තෝරාගත් කොටස් පමනක් ඔවුන් මිලදී ගනිද්දී අපි සම්පූර්ණ පැකේජම බාගෙන පාවිච්චිකලෙමු. නමුත් අපේ රටවල්වල තොරතුරු තාක්ෂණ පඩියන්ටද නොතේරෙමින් අප වැටී ඇත්තේ මහා වලකය. මක් නිසාද මෙම වැඩ පිලිවෙලට කෙල වෙන දවසක් ඉදිරෙයේ එමින් තිබෙන නිසාය. මාසික හෝ වාරික වශයෙන් මුදල් ගෙවමින් අන්තර්ජාලය මත පිහිටවූ මෘදුකාංග ක්‍රමවේදය දැන් දැන් සියලුම අංශ ආක්‍රමනය කරමින් සිටී. මේවාගේ මිල ගනන්ද, ඩොලර් 20 සිට 100 වැනි ඉහල මුදල් පරාස (මාසික පරිහරණ ) ඔස්සේ විහිදෙයි. ඇමරිකානුවෙකුට මෙය ඉතා සුලු මුදලක් උවද අපහට මෙම මුදල ඉතා ඉහල අගයකි. මේවා හොරාට බා ගැනිලි, එක් කෙනෙක් මිලදීගෙන කිහිපදෙනෙක් බාවිත කිරීම වැනි ජෝක්වලට කදිම පිලිතුරු සපයමින් ඉදිරියට පැමිණ ඇත. බොහේ මෘදුකාංගවල බාවිත සීමාවන් ඇත. එක් අයෙකුය හෝ දෙදෙනෙකුට හෝ සෑහෙන ලෙස මේවායේ සීමා මායිම් සකස් කර ඇත.  මාසෙකට අවශ්‍ය මෘදුකාංගවලට යන මිලහි එකතුව අවම ඩොලර් 30 -40 ක් හෝ උන හොත් එය දරන්නට අපගේ රටේ කී දෙනෙකුට නම් පුලුවන් වෙයිද? වඩාම වැදගත් ප්‍රශ්ණය අපි ඒසදහා සූදානම්ද?

 
 


අප වැඩිපුරම හොරාගත් මෘදුකාංගයේ ඔන්ලයින් වෙලුම (Microsoft online)


Friday, December 6, 2013

ජාමෙ බේරගෙන ඉංග්‍රීසි පාවිච්චි කරමු

(මෙම ලිපියේ නිමිත්ත, මෙම දොස්තර මහතා හදිස්සියේ අත්සන් කල ලිපියක් රටටම පෙනෙන්න වෙබ් අඩවියක පලවී ඇත. )

මොන කරුමයක්ද දන්නේ නෑ ඉතින් ලංකාවේ ඉංග්‍රීසි භාෂාවට තියෙන්නේ මාර තැනක්ය. පරිගණකය හා අන්තර්ජාලය නිසා ඒකේ වටිනාකම තවත් වැඩිවී ඇත්තේ, බොහෝ හේතූන් අතර පරිගණකයට හා අන්තර්ජාලයට සිංහල ආදේශ කිරිමේදී  පවතින ගැටලු නිසාවෙන් වත් විය හැක. කතාවේදී මෙන්ම ලිවීමේදීද ඉංග්‍රීසි ඉතා ප්‍රවේෂමින් බාවිත කලයුතුවී ඇත්තේ සුලු වරදක් උවද අපව ඉතා අවමානයට පත් කිරීමට මිනිසුන් එය අවියක් කරගත හැකි නිසාය. සනාගේ පස් කමින් අවුට් සිද්දිය අවුරුදු ගනනාවක් රටපුරා බූමරන්ගයක් ලෙසින් යමින් ඔහුගේ සිතද රිදවූයේ පසුව දෙනෝදාහක් ඉදිරියේ ඔහුව නාට්‍යයකින් පවා අවමානයට ලක් කලේ ඔහුගේ සල්ලි වලට, ක්‍රිකට් දක්ෂතාවයට, දේශපාලනයට හෝ ඔහු ඇසුරුකල සුන්දර ලදුන් ගනනට ඊර්ෂ්‍යාව නිසාද විය හැක. නමුත් සමස්ථ ක්‍රියාවලිය ඔහුගේ සිත පෑරුවේය. එය ක්‍රිකට් රාත්‍රියේ නාට්‍යට එරෙහි පැමිනිල්ලෙන් ගම්‍යවේ. මේවා අපට වලක්වන්නට නොහැකිය. අප කලයුත්තේ අප අවට සමාජයේ ස්වබාවය අදුනාගෙන ඉදිරියට යෑමයි. නමුත් අපට (ඉංග්‍රිසිය මවුබස නොවන එය දෙවන හෝ ප්‍රවීන නොවන ලෙස බාවිතාකරන්නන්) අවදානයෙන් යුතුව පාවිච්චි කිරීම තුලින් කිසිදු ප්‍රශ්ණයකට ලක් නොවී එය කිරීමට හැක. පහත සදහන් අවවාද ඔබට එය වඩාත් පහසු කරාවී යැයි මම සිතමි.

අධි අවදානම් අවස්ථා මග හැරීම
 
 

විස්තර විචාර (සමාගමක හෝ ආයතනයක ක්‍රීඩා උලෙලෙකදී), සම්මන්ත්‍රණයක උත්සවයක නිවෙදන කටයුතු, ආවේගශීලි මත ගැටුම් (රැස්වීමකදී).... මෙවැනි අවස්ථාවක මවුබස නොවන්නක් බාවිතකල හැක්කේ ඉතාම ප්‍රවීනයෙකුට පමනි. මම මෙයින් අදහස් කලේ ඔබ අවස්ථා මග හලයුතු බව නොවේ. සම්මන්ත්‍රනයක දේශන පවත්වන්න මම එපා කිවුවේ නැත, රැස්වීමක ඉංග්‍රිසි කතාකරන්නට එපා කිවුවේ නැත. මම කිවුවේ ඉහත සදහන් අතිශය චතුරත්වය අවශ්‍ය වන දුලබ අවස්තා මග හැරගන්නටය. සැමදාටම නොවේ ඔබ චතුරත්වයට පත්වන තෙක්.

වෙනත් අය ලියාදෙන ලිපිවලට අස්සන් කිරීමේදි ප්‍රවේශම් වන්න
 
 


අප රැකියාවල ඉහලට යද්දී බොහොවිට වැඩ කරවගන්නවා මිස කරන්නේ නැත. නමුත් අනුන් කරන වැඩවලට අපට වගකීම ගන්න සිදුවේ. ටයිපිස්ට් ටයිප් කලද අත්සන් කල පසු ලිපිය අපේය. අනේ නෑ මේ ටයිපිස්ට් කෙල්ල ටයිප් කරලා වැරදිලා යැයි කියන්නට වගකිය යුතු නිලදාරියෙකුට නොහැකිය. (උසස් පෙල ප්‍රතිපල වැරැද්දුවේ දත්ත ඇතුලත් කරපු පොර යැයි කියා ඇමතිලා ගැල උනද, ඔබ අප එවැනි වාසනාවන්තයන් නොවන බව තරයේ සිතාගන්න ).

පරිගනකය හරියට බාවිත කරන්න
 
 


ඔබ ටයිප් කරනවිට ඔබගේ මෘදුකාංගය ස්පෙලින් හා ව්‍යාකරන බලා දී වැරදි තැන් රතු කර පෙන්වනවා නම් හා එය ස්වයංක්‍රීයව නිවැරදි කර දෙනවා නම් ඔබ බයානක ඇබ්බැහියකට ලක්වන්නට යන්නෙකි. එයින් වන්නේ ඔබේ යටිහිත මෙම සේවය හැම තැනින්ම බලා පොරොත්තු වීමයි. හොදින් මතක තියාගන්න, මෙම සේවය සමහර ඊමේල් සේවාවල නැත, පවර් පොයින් ස්ලයිඩ්වල මාතෘකාවලදී සමහර විට මෙම සේවය නැත. අපේ ගොඩාක් උන්දෑලා නා ගන්නේ මෙවැනි අවස්තාවලදීය. එහෙයින් තමා ලියන දේ චෙක් කරගැනීම වැදගත්ය. ඔබගේ ටයිපින් සොෆ්ට්වෙයාර් එක ස්පෙලින් බලාදුන්නත් ව්‍යාකරන බැලීම අතින් ඒය ඉතා දුර්වලය.(Grammarly වගේ ඔන්ලයින් සේවයක් ඉතා හොද වුවද, ඒය මාස්පතා මුදල් ගෙවිය යුතු සේවයකි )

අවසන් අවවාදය, ඉගෙනගන්න, පොඩි පොඩි වැරදීම් උනද ඉදිරියටම යන්න.

Thursday, October 10, 2013

ලංකාවේ නව නිශ්පාදකයෝ - බොරු කාරයෝ, වැඩකට නැති දේ නිපදවන්නෝ හා සැබෑ නිපයුම් කරුවෝ.

 
 


මට තාමත් මතකයි, ලංකාවේ පත්තරවල නව නිශ්පාදනයක් හොයාගත් අයෙකු දුටුවිට මට ටෙලිපෝන් කරලා කියන කම් නිවනක් නැතුව හිටි අප්පච්චී. දැන්නම් එයා ඒවා කියන්නෙ නෑ. මොකද මම ගනන් ගන්නේ නැතිබව දන්න නිසා. මම එහෙම කලේ අප්ප්ච්චී එක්ක ප්‍රශ්ණයක් නිසා නොවේ, මේ නව නිපයුම් කරුවෝ කියාගන්න අයත් එක්ක තියෙන ප්‍රශ්ණයක් නිසා.

කෙලින්ම කියනවානම් ලංකාවේ නව නිපයුම් කරුවන් වර්ග තුනකට වෙන් කරන්න පුලුවන්. බොරු කාරයෝ, වැඩකට නැති දේ නිපදවන්නෝ හා සැබෑ නිපයුම් කරුවෝ. අපේ රටේ අවාසනාවට වැඩිපුරම ඉන්නේ බොරු කාරයෝ හා වැඩකට නැතිදේ නිපදවන්නෝ. මීට වසර ගනනාවකට කලින් මට මතකයි අතුරුගිරිය පැත්තේ පොඩි කොල්ලෙක් වතුරෙන් දුවන වාහනයක් හැදුවා, අගමැතිත් (දීමූ නොවේ, කලින් හිටිය පොර, නම දන්නවානේ කවුරුත්) අහුවුන මේ බොරුව එලි උනේ හෙන සෙට් එකක් තමුන්ගේ වාහනත් වතුරෙන් දුවන්න වෙනස් කරන්න සල්ලි ගෙවුවාට පස්සේයි. වතුරයි ඩීසලුයි කලවම් කරලා වාහන දුවන්න පුලුවන් කියලා ආයෝජකයන්ව රවටපු තවත් පොරක් ලංකාවේ හිරේ ගියා. ඒ අහින්සක ව්‍යාපාරිකයෙක් ගෙන් මිලියනයකට අධික මුදලක් වංචාකල පසුයි. අවාසනාව කියන්නේ මේක ලෝකයෙ වෙනත් රටවල් වල වෙනත් අය විසින් කරපු බොරුවක්. පිලිපීනයේ අයෙක්, ඇමරිකාවේ අයෙකුත් මේ බොරුව මේ විදිහටම කරලා තුබුනා.

වතුරෙන් දුවන වාහනය පොලව හෙලවෙන (groundbreaking ;-)) නිපයුමක් ලෙස මාධ්‍ය වාර්තාකර තිබූ අන්දම.  http://archives.dailynews.lk/2008/07/16/news12.asp

බොරුව එලිවූ පසු http://www.lankanewspapers.com/news/2008/10/33666_space.html


ඒ බොරු කාරයෝ නේ, ඊලග වසන්ගතේ තමයි අනවශ්‍ය නව නිපයුම් කරන අය. මේ අයගේ පොදු ලක්ෂණය තමයි නිසි අධ්‍යාපන පසුබිමක් නොතිබීම හා ලොකයේ විද්‍යාත්මක තාක්ෂණික රටාව පිලිබද නිසි දැනුමක් නොතිබීම. මොකක් හරි උපකල්පනයක් (hypothesis) හිතට ආපු මේ ගොල්ල මොකද කරන්නේ මොනවා හරි මගුලක් අටවනවා. විද්‍යා මාධ්‍යවේදීන් (scientific journalist) අල්ප අපේ රටේ මාධ්‍යකරුවන්ටත් මේ අය වීරයෝ වෙනවා, රැල්ල දැක්ක ගමන් දේශපාලකයෙක් දෙන්නෙකුත් මේකට සෙට් වෙලා අපේ සල්ලි එයාලාගේ වගේ දන් දෙනවා. නමුත් ඉහත කී උපකල්පිතය නිසි විද්‍යාත්මක පදනමක් ඇති දෙයක් ද යන්න කිසිවෙකුත් සොයා බලන්නේ නෑ. මට මතකයි රැලි නොනගින බෝට්ටුවක් හැදුවා කවුදෝ මන්දා, ඒකේ වීඩියෝව බලපු මට අනේ අපොයි කියලා හිතුනා. බෝට්ටුවක් හරිම හෙමින් ඉස්සරහට යනවා, රැලි නෑ කීවට පොඩි රැල්ලකුත් පිටිපස්සට එනවා ...........

මේවගේ කලුගල් අතර මැණික් ද නැතුවාම නොවේ. නමුත් අවාසනාව නම් ඒඅයට ලැබෙන්න ඕන සහාය හා මහජන මුදල් ලැබෙන්නේ බොරුකාරයන්ට වීමයි. මොකද බොරුව ලස්සනයි, නියම නව නිශ්පාදන බොරුව තරම් සුන්දර නැහැ.  කටුකයි, ගොඩාක් වැඩ කරන්න ඔන , කාලය ගතවෙනවා, ඉවසීම තියෙන්නෙ ඔන. නියම නවනිපයුම් එහෙමයි. පුන්චි පෙට්ටියක් වගේ කැලක් හයි කරාම කාර් එක වතුරෙන් දුවන්න, වතුරයි ඩීසලුයි සුපර් බෙලෙන්ඩ් කරලා ඉන්දන හදන්න ... මේවා නිකම් හීන වගේ නේද? අහනකොටත් ආසයි. ඒත් නව නිපයුම් බොරුව මෙන් පහසු හා ආකර්ෂණීය නැහ.

Monday, October 7, 2013

ශිෂ්‍යත්ව විභාගයට කෙලවන්න හදන හරක් රැලක්



ශිෂ්‍යත්ව විභාගය ලමා මනසට බරක් බව මම එක හෙලා පිලිගන්නෙමි, එය මනසට පමණක් නොව ලමා දිවියටද තර්ජනයක් බවට අසමත්වූ සිසු දියණයක නිවසින් එලවීම හා ලකුණු අඩුවූ දරුවෙකු ස්තික්කයකින් පිලිස්සීමත් උදාහරන ලෙස දැක්විය හැක. නමුත් මේවා දඩමීමා කරගෙන මෙම විභාගය නැවත් වීමට යම් කිසි ජාතික ව්‍යාපාරයක් උත්සාහ කිරීම මම නම් සලකන්නේ සාමාන්‍ය පන්තියේ දක්ෂ දරුවන්න්ට යහපත් පාසලක් ලබාගැනීමට ඇති අවසාන හා එකම අවස්ථාවත් විනාශ කර දැම්මීම ලෙසය. අවුරුදු ගානක මගේ ජීවිතයේ මට හමුවු ගොඩාක් දක්ෂයින් ජනප්‍රිය  ඉස්කෝල වල අය, ඒත් ඒගෙල්ලන්ගේ වගතුග ගොඩාක් හොයලා බලන කොට ඔක්කෙමලා වගේ ශිෂ්‍යත්වෙන් ඒ ඒ පාසල් වලට ආපු අය. සමීක්ෂණයක් කරලා බැලුවත් මට හොදටම විශ්වාසයි අපේ රටේ ජනප්‍රිය රැකියාවලට , ගම්බද පාසල් වල ලමයිට එන්න අත්වැල උනේ ශිෂ්‍යත්ව විභාගය බව ඔප්පු වෙනවා.

 ශිෂ්‍යත්ව විභාගයට කෙලවන්න හදන ඉහත කී හරක් රැල විකල්පය ලෙස දක්වන්නේ ඒ ඒ පාසල් මට්ටමෙන් පවත්වන වෙනම විභාග රැසක්. එක සම්මත විභාගයක් වෙනුවට ඒ ඒ පාසල් මට්ටමෙන් පවත්වන වෙනම විභාග රැසක් යෝජනා කරන්නේ සිරාවටම මුන් හරක් රැලක් වෙනම ඔන. ඒ තුලින් වෙන්නේ ලමයාට වැඩි පීඩනයක් එල්ල වීමත් හා අල්ලස් දුෂණය මේ කඩ ඉම් විභාගයට ඇතුල් වීමයි. එක විභාගයක් ලිවූව එකාට වෙන්නේ වෙන වෙනම ඉස්කෝල වල තියන විභාගවලට දුවන්න. අම්මලාට ලොකු ටීචර් පස්සේ ගිහින් ප්‍රශ්ණ පත්තරේ කලින්ම ගන්නත් පුලුවන් වෙයි. 

මේ හරක්ට කන් නොදී මේ වටිනා විභාගය ඉදිරියට කරගෙන්න යන්න, රට කරන අයට මොලේ පෑදේවායි පතමින් ලිපිය අවසාන කරනවා.

Monday, September 30, 2013

ඉංග්‍රිසි බැරි නිසා සැගවෙන අයින්ස්ටයිලා

 
 

(එන්නතකට බයේ සැගවෙන දරුවා, ඉංග්‍රිසීයට බය අයත් මුලුගැන්වෙන්නේ මේවගේ යැයි මට සිතුනා )

මම පහුගිය සතියේ චීනයේ බෙයිජින් නුවර උත්පේරක පිලිබද ජාත්‍යන්තර සමුලුවකට සහභාගී උනේ එවැනි සමුලුවක කරන මගේ කුලුදුල් දේශණය පවත්වන්න. ඒකට ඇමරිකාව, බටහිර යුරෝපය ප්‍රමුඛ රටවල් වලින් මෙන්ම සත්කාරක රට වන චීනයෙනුත් විශාල පිරිසක් සහභාගී උනා.  මම මෙහිදී දුටු දෙයක් නම් චීන්නුන්ගේ පර්යේෂනවල තිබෙන දැවැන්ත ඉදිරිගාමී බව හා ඔවුන්ගේ සන්නිවේදන හැකියාවේ (ඉංග්‍රීසියෙන්) දැවැන්ත පසුබෑම. කොටින්ම චීන්නු දේශන පවත්වන විට බටහිරයන්, සමගාමීව පැවැත්වෙන වෙනත් දේශණයන් සොයා කාමරයෙන් පිටව යනු මම මේ දින දෙකේ සම්මන්ත්‍රනයේදී දුටුවා.   ඔවුගේ පර්යේශන කටයුතු දිහා බලන විට  ඒවා සමහර යුරෝපීයයන්ගේ ඒවාටත් වඩා ඉදිරියෙන් ඇති බව මට වැටහීගියා. නමුත් ඔවුන්ගේ උච්චාරනය බොහෝ බටහිරයන්ට ගැටලුවක් උනා. ඒවගේම ඔවුන්ගෙන් බටහිරයන් ප්‍රශ්ණ (සරල ප්‍රශ්ණ පවා ) ඇසූවිය, ඔවුන්ට එය ග්‍රහණය කරගත නොහැකි උනා.

මෙය දුටුවිට මට මතක් උනේ අපේ රටේ තිබෙන ඉංග්‍රීසි ප්‍රශ්ණය. චීනාට තියෙන්නේ ඇත්තටම ඉංග්‍රීසි බැරි ප්‍රශ්නේ, අපේ තියෙන්නේ ටිකක් වෙනස් ප්‍රශ්ණයක්. අපේ උච්චාරණය හා ශ්‍රවණය ඉතා ඉහල මට්ටමක තියෙනවා, නමුත් ලංකාවේ ඉංග්‍රීසිය යනු පන්ති බේදය පවත්වාගන්නා උපකරණයක් නිසා බොහෝ දෙනා වැරදීමට හෝ ලජ්ජාවට පත්වීමට බිය නිසා පසුබැස ඉන්නවා. ඔවුනට අනෙකාට අවබෝධ වීමට කතාකිරීමේ හැකියාව ඇතත් හීනමානය හෝ බිය නිසා ඉංග්‍රීසි කතා නොකර සිටිනවා. දක්ෂතා ඇතත් භාෂා පිලිබද මේ ප්‍රශ්ණය නිසා බොහෝ දෙනා පසු බැස ඉන්නවා.

මේක පර්යේෂන ක්ෂේත්‍රයේ  පමණක් නොව සමාගම්වල , දේශපාලනයේ, ව්‍යාපාරවල ... හැමතැනකම තියන ප්‍රශ්ණයක්. භාෂා ප්‍රශ්ණය නිසා සැගවෙන සැබැ දක්ෂයන් මතු කරගන්න හැකිනම් අපට වඩා ලස්සන ලෝකයකට යන්න හැකිවේවි.

Saturday, August 17, 2013

උද්ගෝෂණයකට, රැලියකට හෝ රැස්වීමකට සහභාගී වූ හරිම ගණන Matlab ඇසුරෙන් ගණනය කරමු

අපේ රටේ වගේම ලෝකය පුරාම දැන් උද්ගෝෂණ රැල්ලක් පැතිර යනවා. සමහර ඒවානම් හරිම දරුණුයි, හරියට මේ දවස්වල ඊජිප්තුවේ එක වගේ ඒවා. තිස්තුන් කෝටියක් දෙවි පිහිටෙන් අපේ රටේ නම් එහෙම ඒවා ඇති නොවේවි. ඒත් අපේ රටෙත් උද්ගෝෂණ,  රැලි හා රැස්වීම් එහෙම නම් අඩුනැහැනේ. හැබැයි මේ හැම එකකම පොඩි සමාන ලක්ෂණයක් තියෙනවා. ඒතමයි සහභාගී උන ගාන පිලිබද අඩු වැඩි වශයෙන් පැවසීම.  රැලියට පක්ශ අය ආපු ගාන වැඩිකරලා පෙන්නන අතර විරුද්ධ අය කියන්නේ අඩු අගයක්. මේ කරුණ වගේම උද්ගෝෂණ හා රැලිවලට ආපු ගාන හරියට දැනගන්න එක ආරක්ෂක අංශ වලටත් හරිම වැදගත්. කොච්චර කුලු පොලු හමුදාවක් යවන්න ඔනද, වතුර විදින තුවක්කු කීයක් ඔනද වගේ සැලසුම් සකස් කරන්නත් පසුව සකස් කරන බුද්ධි අංශ වාර්තාවලටත් මේ හරිම අගය වැදගත්.

මේක Matlab වල image processing පාවිච්චිකරලා කරන්න මම උත්සාහයක් ගත්තා. මේකේදී මම යොදාගත්තේ ලගදී විපක්ශය වැලිවේරිය සිද්දියට විරුද්ධව කරපු උද්ගෝෂණයේ එක රූප රාමුවක්. මුලු උද්ගෝෂණයේම පිරිස ගණනය කරන්න මනාව සැලසුම් කරලා මුලු පිරිසම ආවරණය වෙන්න රූප කිහිපයක් හෝ නියමුවන් රහිත කේලමා කෙනෙක් ගෙන් ගුවන් ඡායාරූපයක් ගන්න ඕන. මේ ලිපිය මෙය කලහැකි බව හා එහි පදනම පෙන්වීමට පමණක් ලියවෙන්නක් බව සලකන්න.

පලමුවෙන්ම රූපය ක්‍රොප් කරලා අනවශ්‍ය කොටස් අයින් කරලා Matlab වල බින් එකට සේව් කරගත්තා. ඊට පස්සේ පහත් කෝඩ් එකෙන් රූපය variable එකකට  assign කරගන්න ඕන. මොනවා කරන්නත් රූපය වල ඇතුලට ගන්න ඕනනේ.

img1=imread('img4.jpg');
imshow(img1)




ඊටපස්සේ රූපයේ වර්ණ ඉවත් කරලා අදුරු තැන් කලුකරලා ආලෝකමත් තැන් සුදු කර ගන්නවා.

img1=rgb2gray(img1);
imshow(img1)




img2=im2bw(img1,graythresh(img1));
imshow(img2)



අනතුරුව පණුවා ඔපරේටර් (~ operator ) එක පාවිච්චිකරලා කලු සුදුත් සුදු කලුත් කරගන්නවා.
 img2=~img2;
imshow(img2)

අනතුරුව කලුපාට උන සීමා මයිම් සංඛ්‍යාව කියන  B පැරාමීටර් එකට කරගෙන text ක්මාන්ඩ් එකෙන් එක මත පෙන්ව ගන්නවා.
B = bwboundaries(img2);
imshow(img2)
text(10,10,strcat('\color{green}Objects Found:',num2str(length(B))))
hold on

(තිරය මත දිස්වූ අගය 1020 ක්, ආසන්න වශයෙන් 1000 ක් )

වැඩි දුර පැහදිලි කරගන්න නම් අපට සීමාවන් රූපය මත ඇද ගන්නත් පුලුවන්.

for k = 1:length(B)
boundary = B{k};
plot(boundary(:,2), boundary(:,1), 'g', 'LineWidth', 0.2)
end


මැනුවලි ගැනලා බැලුවාමත් 950ක් වගේ ගානක් ආවා, වැඩේ සාර්ථකයි. මම අන්තර් ජාලයෙන් හොයාගත් code එකක් තමා මේකට යොදා ගත්තේ, image processing වලට මම අලුත්. ඒ හින්දා මේක හොදට දන්න අය තව දැනුවත් කරලා කමෙන්ට්ස් දානවා නම් හරිම සතුටුයි.

Friday, August 9, 2013

මොකක්ද මේ ඩයිසයන්ඩයියමයිඩ් dicyandiamide (DCD) කේස් එක?



දිවත් පැටලෙනවා නේ කියවනකොට, අපි කෙටියෙන් ඩීසීඩී (DCD) කියමුකෝ. ඩීසීඩී ගැන කෙටියෙන් කියනවානම් ඒක සයන්ඩයියමයිඩ් දෙකක එකතුවක්! එතකොට සයන්ඩයියමයිඩ් කියන්නේ? මේක කෙලවරක් නැති පැහැදිලි කිරීමක් නේ. ඇත්තටම මේ ලිපියේ අරමුණ ඩීසීඩී ගැන ඔයාලට උගන්වන්න නොවේ මේ කේස් එක ගැන මට තේරෙන සත්‍යය ඔයාලාට කියාදෙන්නයි.

ඩයිසයන්ඩයියමයිඩ් (dicyandiamide) ෆොන්ටෙරා කිරිවලට ආවේ හරිතාගාර වායු නිකුත්වීම අඩුකරන්න සෙමෙන් ක්‍රියාකරන පොහොරක් ලෙස මේවා ඔවුන්ගේ තණ බිම්වලට යෙදීමෙන් පසුවයි. තව වසරගනනාවකින් වෙනවායි කියන පරිසර අර්බුදයකට විසදුම් හොයන්න ගිහින් ෆොන්ටෙරාට උනේ ඇදගෙන නාන්න. දෙනුන් මේ තණ කෑ පසු මෙම කෙමිකල් එක ඔවුන්ගේ කිරිවලට අල්ප මාත්‍රව එකතු වෙලා තියනවා. තරගකාරී වෙලද ලෝකයේ එකිනෙකා පරයා යන්න දගලන සමාගම් වලට මේවගේ ප්‍රශ්ණවලදී හොයන්න වෙන්නේ පැලැස්තර විසදුම්.

මොකෝ ඉතින් ටොන්ගනන් කිරි විසිකරන්න ද? වහාම ක්‍රියාත්මක උන කොම්පැණිය මොකද කලේ කඩි මුඩියේ මේක මිනිසුන්ට විස නෑ කියලා ඔප්පු කරන්න විවිද පර්යේශන කරලා වාර්තා ඉදිරිපත් කලා. ෆොන්ටෙරා කියන්නේ හොද ඉතිහාසයක් තියන සමාගමක් නොවන නිසා (මෙලමයින් කේස් එක ) මේ වාර්තා කොතරම් සාධාරණද කියලා ඔයාලාම හිතාගන්න ඕන. අපේ රටේ බලදරයෝ කියන සෙට් එක දැන්මේ ගිනි අරන් දැගලුවාට ඩීසීඩී ප්‍රශ්ණය ආවේ 2012 දී. අවුරුද්දක් පරක්කු වෙලා හරි ඇස් පෑදුන එකට නම් ස්තූති කරන්න ඕන.

කොහොමත්  කිරි හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වලදී විදේශ සමාගම් මත රැදෙන එක ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක්. හදිසි යුධ හෝ සම්බාධක තත්ව වලදී අපට බඩගින්නේ මැරෙන්න වෙන නිසා. ඒවගේම මේවගේ අපද්‍රව්‍ය මුසුවීම වගේ සිදුවීම් වලදී ඔවුන්ගේ දියුනු රටවල වෙලද පලින් ඉවත් කරගන්නා නිශ්පාදන අපේ වගේ අඩු තාක්ෂණ හැකියාවක් හා දුෂිත නිලධාරීන් ඉන්නා රටවලට එවීමට තිබෙන නැබුරුතාවයත් නිසා.


හැබැයි තව පොඩි ඇත්තක් කියන්න ඕන, මේ කේස් එකේදී අපේ රටේ කිරි නිශ්පාදකයෝ පොඩි අයුතු ප්‍රචාරනයක් ගෙනයනවා ඔවුන්ගේ කිරි වල ඩීසීඩී නෑ කියලා. ඒක විහිලු කතාවක්, අපේ රටේ තණ බිම් වලට ඩීසීඩී ගහන්නේ නැති නිසා  ඩීසීඩී අපේ කිරි වලට එන්න කොහෙත්ම බෑ. අපේ කිරි පිරිසුදුයි කියන්න නම්, අපේ රටේ කිරි නිශ්පාදනයේ ජීව චක්‍රය  Life Cycle අධ්‍යයනය කරලා අපේ රටේ කිරිවල තිබිය හැකි විස ද්‍රව්‍ය වලට අධ්‍යයනයක් කලයුතුයි.

මම හිතනවා පොඩිහරි පැහැදිලි කිරීමක් ඔබලාට ලැබෙන්න ඇති කියලා. දැනටනම් මගේ ලිපි කියවන්නේ සිංහල බ්ලොගර් එකෙ කට්ටියයි, කොත්තු එකේ කට්ටියයි විතරයි. හිතනවා නම් ඔයාලා අනිත් යාලුවන්ට නෑදෑයන්ට ගුරුවරුන්ට බොස්ලාට් මේක දැනගන්න එක හොදයි කියලා මූණුපොතේ හෝ ලින්ක් ඉන් එකේ මේක බෙදා හදාගන්න.

Monday, August 5, 2013

පානීය ජලයට ජාතික සැලසුමක් අවශ්‍යයයි




වැලිවේරිය පැත්තේ පානීය ජලය වෙනුවෙන් උද්ගෝෂණයක් කරලා දෙපැත්තම සීමාවන් ඉක්මවන්න ගිහින් කොහේවත් හිටපු අහිංසකයෝ කිහිපදෙනෙක් ඇතුලුව විරෝධතා කරුවන් පිරිසක් අද තුවාලවෙලා හෝ දිවියෙන් සමු අරන්. මේක එක තැනක මේ විදිහට අවාසනාවන්ත ලෙස මතු උනාට, ගොඩාක් තැන්වල අවාසනාවන්ත ලෙස යටපත්වෙලා ඔඩුදුවන ප්‍රශ්ණයක්.

අපේ රටේ පානීය ජලය ලැබෙන ආකාර ගත්තොත්; ලොකු ලොකු කම්පනි හා යහමින් අතමිට තියන අය බෝතල් කල වතුර බොනවා, ටැප් ලයින් හම්බ උන අය ඒවා උනුකර නිවලා බොනවා, භූගත ජලය නල ලිං / ලිං වලින් ගෙන බොනවා හෝ ස්බාවික ගලාගෙන යන ජලය/උල්පත් වතුර බොනවා. මේක තමයි අපේ රටේ පොදුවේ පානීය ජලය ලබාගන්න වැඩපිලිවෙල. නමුත් කාර්මීකරණයත් එක්ක , නව කෘෂි කර්මාන්තයත් (පලිබොධ නාශක හා වස )එක්ක නාගරික හා අර්ධ නාගරික ජනාවාස මූලික කරගත් ආර්ථිකයකට ගමන් කරන අපිට ඉහත වැඩපිලිවෙලේ එක ක්‍රමයක් ඇරුණාම අනිත් සියලුම අංග වලට ඉතා ඉක්මනින් සමුදෙන්න වෙනවා. අපට  පානීය ජල විසදුමක් ලෙස ඉදිරියට පවත්වාගෙන යා හැක්කේ නියමිත ප්‍රමිතියකට තත්ව පාලනයක් සහිත බෝතල් කල ජලය පමනයි.

බොතල් කල ජලය කිවූ ගමන් බය වෙන්න එපා, මම මේ කතාකරන්නේ රුපියල් 40 ක් පමණවෙන මිලිලීටර 500 බෝතල් ගැන නොවේ. මම කියන්නේ ලීටර විස්සක් පමණ වන, නැවත පිරවිය හැකි ඩිස්පෙන්සර් මත තබන බෝතල් කල පිරිසිදු කරන ලද ජලය ගැනයි. නැවත පිරවීම හා ප්‍රවාහනය සේවාසපයන සමාගමක් විසින් කිරීම මේ ක්‍රමයේදී සිදු කෙරේ. රටක සීමිත පිරිසක් මේ සේවය බාවිතා කරනවිට මෙය ඉතා මිල අධික ක්‍රමයක් උවද, මහා පරිමාණයේ අධික පිරිසක් නිරන්තරයෙන් බාවිතා කරන කල්හී මෙය ඉතා ලාබදායී ක්‍රමයක් වෙනවා.

සංවර්ධනයට හෝ කාර්මීකරණයට විරුද්ධ වන්න අපට බෑ.අවශ්‍යයත් නෑ. අපි කලයුත්තේ සංවර්ධනය වූ රටවල් මෙවැනි ප්‍රශ්ණ වලදී ගත් ක්‍රියා මාර්ග අනුගමනය කිරීමයි. පිරිසුදු කල වාණජ්‍යමය ලෙස ඇසුරුම් කල පානීය ජලය බාවිතයට ජනතාව හැඩ ගැස්වීමයි අප කල යුත්තේ.

මිල ගැන ප්‍රශ්න කරන්න එපා, මම උදාහරණයක් කියන්නම්, අපේ රටේ ජංගම දුරකතන ආපු දවස් වල ඒවා ධනපතීන්ට පමණයි සීමා උනේ, නමුත් අද වෙනකොට ජංගම දුරකතන වැහිවැහැලා නේද? හැමෝටම එකක් තියනවා නේද? බිලත් සාදාරනයි නේද?

මේ ජාතික වැඩ පිලිවෙල කොතනින් හෝ ආරම්භ කලයුතු වෙනවා. සංවාදයට ඇරයුම්, කමෙන්ට් කරන්න, පුලුවන් විදිහට උත්තර දෙන්නම්.